Pages

Sunday, September 26, 2010

Psychic Solution ( Mind Reading part 2 )

        
          කොහොමද කස්ටිය ? අනිත් අයගෙ හිත් කියෙවුවද ? ඔන්න අදත් මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Psychic Solution. මේකත් Mind Reading මැජික් එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදි කාඩ් පැක් එක shuffle කරන්න නරඹන්නාට දෙනව. ඊට පස්සෙ නරඹන්නාට කාඩ් එකක් ගන්න කියනව.ඊට පස්සෙ නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල කාඩ් එකේ පාට,වර්ගය සහ අංකය සමගම කියනව.

මෙන්න වැඩේ යන හැටි.

මුලින්ම කාඩ් පැක් එක shuffle කරන්න නරඹන්නාට දෙන්න. ඊට පස්සෙ ඔයත් කාඩ් පැක් එක shuffle කරන්න. දැන් කාඩ් පැක් එකේ මුහුණත (අංක තියෙන පැත්ත) උඩට සිටින සේ  පැක් එක fan out කරල (fan out කරනව කියන්නෙ අවානක් වගේ පැක් එක සකස් කරනවට) නරඹන්නාට පෙන්වන්න කාඩ් පැක් එක තියෙන්නෙ කිසියම් කලින් සකසන ලද පිළිවෙලකට  නෙමෙයි කියල. මේ  අතරෙදි පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක මොකක්ද කියල බලාගන්න. දැන් කාඩ් පැක් එක ගොඩවල් 3කට වෙන් කරන්න. වෙන් කරන අතරෙදි හොදින් මතක තියා ගන්න ඔබ මතක තියාගත් කාඩ් එක තිබෙන ගොඩ මොකක්ද කියල. ඊට පස්සෙ නරඹන්නට කියන්න කැමති ගොඩවල් 2ක් පෙන්වන්න කියල.

නරඹන්නා පෙන්වන ගොඩවල් 2කට ඔබ මතක තබාගත් කාඩ් එක තිබෙන ගොඩත් ඇතුලත් නම් එම ගොඩවල් 2ක එසේ තිබියදී ඉතුරැ ගොඩ පැත්තකට කරන්න. දැන් ඉතිරිව ඇති ගොඩවල් 2න් තවත් ගොඩක් පෙන්වන්න කියන්න.

එසේ නොමැතිව නරඹන්නා පෙන්වන ගොඩවල් 2කට ඔබ මතක තබාගත් කාඩ් එක තිබෙන ගොඩ ඇතුලත් නැත්නම්, නරඹන්නා පෙන්වන එම ගොඩවල් 2ක ඉවත් කර ඉතුරැ ගොඩ (ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ) තබා ගන්න.

මේකෙදි කරන්නෙ ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ අවසානයට ඉතුරැ කර ගැනීමයි. ඔබ මතක තබාගත් කාඩ් එක ඇති ගොඩ අවසානයේ ඉතිරි වන සේ අනෙක් ගොඩවල් ඉවත් කරන්න. කරන හැටි දිගටම පැහැදිලි කරන්න ඕන නෑනෙ. තේරෙන්නෙ නැත්නම් comment එකක් දාන්න. මම කියල දෙන්නම්.

දැන් ඉතිරිව ඇත්තේ ඔබ මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩයි. දැන් නරඹන්නාට කියන්න ඒ ගොඩේ උඩම තියෙන කාඩ් එක ගන්න කියල. ඒ කාඩ් එක තමයි ඔබ මතක තබා ගත් කාඩ් එක. දැන් එම කාඩ් එක හොදින් මතක තබා ගන්න කියන්න.

දැන් ඔබ ටිකක් වෙලා නරඹන්නාගේ ඇස් දෙක දිහා බලා ගෙන ඉදල, කලින් මැජික් එකේ අවසානයේ කලා වගේ කොටසින් කොටස කාඩ් එක මොකක්ද කියල කියන්න.

මෙන්න ප්‍රයෝගය.

‍ප්‍රයෝගය මොකකද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. පැක් එක ලස්සනටම fan out කරන්න ඕනෙ නෑ. වෙන්න ඕන කාඩ් පැක් එක තියෙන්නෙ කලින් සකසන ලද පිළිවෙලකට නොවේ කියල පෙන්වීමත්, ඔබ පැක් එකේ පළමු කාඩ් එක මොකක්ද කියල බලා ගැනීමත් විතරයි. fan out කරනව වෙනුවට මේසය මත අතුරා පෙන්වීමත් කරන්න පුලුවන්. ඔබේ නිර්මාණශීලීත්වය මත ප්‍රයෝගය ඉදිරිපත් කරන ආකාරය වෙනස් කර ගන්න පුලුවන්.

Mind Reading මැජික් වලදි පිහියෙන් ඇන්න වගේ එකපාරටම උත්තරේ දෙන්නෙ නෑ. ටිකක් හිත කියවනව වගේ පෙන්නල තමයි උත්තරේ දෙන්නෙ. පිහියෙන් ඇන්න වගේ උත්තරේ දුන්නොත් ඉතිං කිංඩි තමා.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, September 19, 2010

කැමතිද අනෙක් අයගෙ හිත කියවන්න ? (Mind Reading part 1)

        
          කැමතිද අනිත් අයගෙ හිත කියවන්න ? ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Mind Reading මැජික් එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල කාඩ් එකේ පාට,වර්ගය සහ අංකය සමගම පැවසීම.

මෙන්න වැඩේ යන හැටි.

අපි නරඹන්නෙකුට කියනව කාඩ් පැක් එකේ කැමති තැනකින් කැමති කාඩ් එකක් ගන්න කියල. ඊට පස්සෙ ඒ කාඩ් එකේ සංඛ්‍යාත්මක වටිනාකම (numerical value) (1,2,3,...,11,12,13) සහ වර්ගය (suit)
{♠ ස්කෝප්ප (Spades), රැවිත (Diamonds), හාරත (Hearts), ♣ කලාබර (Clubs)} මතක තියාගන්න කියනව. (Ace = 1, Jack = 11, Queen = 12, King = 13).

දැන් නරඹන්නාට කියනව එයා ගත්ත කාඩ් එකේ සංඛ්‍යාත්මක වටිනාකම 2න් වැඩිකරන්න කියල.

දැන් ලැබෙන පිළිතුරට 3ක් එකතුකරන්න කියන්න.

දැන් ලැබෙන පිළිතුර 5න් වැඩිකරන්න කියන්න.

දැන් කාඩ් එකේ වර්ගය,

ස්කෝප්ප (Spades) නම් ලැබුනු පිළිතුරට 1ක් එකතු කරන්න කියන්න.

රැවිත (Diamonds) නම් ලැබුනු පිළිතුරට 2ක් එකතු කරන්න කියන්න.

හාරත (Hearts) නම් ලැබුනු පිළිතුරට 3ක් එකතු කරන්න කියන්න.

කලාබර (Clubs) නම් ලැබුනු පිළිතුරට 4ක් එකතු කරන්න කියන්න.

දැන් අවසාන පිළිතුර මොකක්ද කියල අහන්න. මේ පිළිතුරෙන් ඔබට පුලුවන් නරඹන්නා ගත්ත කාඩ් එකේ පාට , අගය සහ වර්ගය ක්ෂණිකව කියන්න.

මෙන්න ප්‍රයෝගය.

හරි ලේසි වැඩක් කරන්න තියෙන්නෙ. නරඹන්නා කියන අවසාන පිළිතුරෙන් ක්ෂණිකව 15 ක් ඔබේ සිතින් අඩුකරන්න. ඔබට සංඛ්‍යා 2ක හෝ 3ක පිළිතුරක් ලැබෙයි. මෙහි අවසන් සංඛ්‍යාවෙන් කියවෙන්නෙ කාඩ් එකේ වර්ගය මොකක්ද කියල. මුල් ඉලක්කමෙන් හෝ ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ කාඩ් එක මොකක්ද කියල.

උදාහරණයක් : නරඹන්නා ගත් කාඩ් එක කලාබර රැජින (Queen of  Clubs) නම් {රැජින(Queen) ගේ වටිනාකම = 12},

12 * 2 = 24.
24 + 3 = 27.
27 * 5 = 135.
135 + 4 =139 (කලාබර (Clubs) වල අගය  = 4).

දැන් නරඹන්නාගෙන් මේ පිළිතුර අසා දැන ගෙන පිළිතුරෙන් 15 ක් සිතින් අඩු කරන්න.

එවිට පිළිතුර 124 යි. මෙහි අවසාන අංකය 4. ඒ කියන්නෙ කාඩ් එකේ වර්ගය කලාබර (Clubs). මුල් අංකය 12. ඒ කියන්නෙ කාඩ් එකේ අංකය. 12 = රැජින(Queen).

උපදෙස්  : පිහියෙන් ඇන්න වගේ එක පාරටම උත්තරේ කියන්න යන්න එපා. මේ උදාහරනෙ විදිහට නම්,

ඔයා ගත්තෙ කලාබර රැජින කියල එකපාරටම කියන්න එපා. මේක Mind Reading එකක් නිසා මුලින්ම නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. ඊට පස්සෙ ඔයා ගත්තෙ කලු පාට කාඩ් එකක් නේද කියල අහන්න (කලාබර කාඩ් වල පාට කලු නිසා). ඊට පස්සෙ ආයෙ ටිකක් නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. දැන් අහන්න ඒක කලාබර කාඩ් එකක් නේද කියල.දැන් ආයෙ ටිකක් නරඹන්නාගෙ හිත කියවනව වගේ පෙන්වන්න. දැන් කියන්න ඒක කලාබර රැජින කියල.

මේ මැජික් එක කොපමන වාර ගනණක් කලත් අහුවෙන්නෙ නම් නෑ.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, September 15, 2010

The Year Game

         
          අද මම කියල දෙන්න යන මැජික් එක The Year Game. මේකට කාඩ් 53ක් ඕනෙ. ඒ කියන්නෙ එක Joker කාඩ් එකකුත් ඕන.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා ගන්න කාඩ් එක මොකක්ද කියල අවුරැද්දක‍ට තියෙන සති හා මාස ගණන සහ සතියකට තියෙන දින ගණන උපයෝගී කරගෙන පෙන්වීම. මෙහෙම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති. කරලම බලන්න.

මෙන්න වැඩේ යන හැටි.

මේක කරන්න කලින් එක Joker කාඩ් එකක් පැක් එකේ යටින්ම තියා ගන්න. මුලින්ම නරඹන්න අයෙකුට කැමති කාඩ් එකක් ගන්න කියනව. ඊට පස්සෙ ඒ කාඩ් එක මොකක්ද කියල බලාගෙන පැක් එකේ උඩින්ම තියන්න කියනව. දැන් පැක් එක දෙපාරක් තුන් පාරක් කපන්න (cut).{shuffle (කලවම්)කරන්න එපා}. ඊට පස්සෙ නරඹන්නන්ට  කියන්න මේක කරන්න Joker කාඩ් එක පැක් එකේ යටටම ගන්න ඕන කියල. දැන් පැක් එකේ Joker කාඩ් එක තියෙන තැන හොයා ගන්න. හොයාගෙන Joker කාඩ් එකත් සමග ඔ‍බේ වම් අතේ තියෙන කාඩ් ටික දකුණු අතේ තියෙන කාඩ් ටිකේ යටින්ම තියන්න. දැන් Joker කාඩ් එක තමයි පැක් එකේ යටම තියෙන කාඩ් එක.

දැන් නරඹන්නාගෙන් අහන්න අවුරැද්දට සති කීයක් තියෙනවද කියල. අවුරැද්දට සති 52 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 5ක් එකින් එක, එක ගොඩකට දාන්න. දැන් තව කාඩ් 2ක් තව ගොඩකට දාන්න. සති 52 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්. දැන් කාඩ් 2 ගොඩ කාඩ් 5 ගොඩ උඩින් තියල ඒ කාඩ් 7ම පැක් එක උඩින් තියන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න අවුරැද්දට මාස කීයක් තියෙනවද කියල. අවුරැද්දට මාස 12 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 12ක් එකින් එක, එක ගොඩකට දාන්න. මාස 12 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්.දැන් ඒ කාඩ් 12ත් අරගෙන පැක් එක උඩින් තියන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න සතියට දවස් කීයක් තියෙනවද කියල. සතියට දවස් 7 යි. එයා පිළිතුර දුන්නම පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් කාඩ් 7ක් එකින් එක, එක ගොඩකට දාන්න. දවස් 7 පෙන්වන්නෙ ඒ ආකාරයෙන්.දැන් ඒ කාඩ් 7ත් අරගෙන පැක් එක උඩින් තියන්න.

දැන් පැක් එකේ මුලින්ම තියෙන කාඩ් එක අරන් පැක් එකේ මැද කොහේ හරි තැනකට දාන්න. ඊට පස්සෙ පැක් එ‍කේ යටම තියෙන Joker කාඩ් එක අරන් පැක් එ‍කේ උඩම තියෙන කාඩ් එකේ හෙමින් තවරන්න (touch). දැන් ඒ උඩම තියෙන කාඩ් එක අරන් නරඹන්නන්ට පෙන්වන්න. නරඹන්නා ගත් කාඩ් එක තමයි ඒක. 

මෙන්න ප්‍රයෝගය.

ආරම්භයේදීම Joker කාඩ් එකක් පැක් එකේ යටින්ම තියා ගන්නෙ නරඹන්නා ගන්න කාඩ් එක හොයා ගන්නයි. නරඹන්නා කාඩ් එක බලල පැක් එ‍කේ උඩින්ම තිවුවට පස්සෙ පැක් එක පළමුවර කැපීමේදී Joker කාඩ් එක ලගට නරඹන්නා ගත් කාඩ් එක එනව. 2පාරක් හෝ 3 පාරක් කැපීමේදී මේක වෙනස් නොවෙන්න කරන්න. ඊට පසුව Joker කාඩ් එක යටට ගන්න ඕන කියල කරන්නෙ නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ උඩට ගැනීම. මොකද පැක් එක කැපුවට පස්සෙ Joker කාඩ් එකට පසුව තමයි නරඹන්නාගේ කාඩ් එක තියෙන්න. Joker කාඩ් එකත් සමග ඔබේ වම් අතේ තියෙන කාඩ් ටික දකුණු අතේ තියෙන කාඩ් ටිකේ යටින්ම තැබීමේදී නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ උඩම කාඩ් එක බවට පත් වෙනව.

දැන් පෙර කියා ඇති පරිදි කලාට පසුව නියමිත පරිදි නරඹන්නාගේ කාඩ් එක පැක් එක තුල පිහිටනව. 





යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.                                    
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, September 12, 2010

මේ ඕපන් සෙසමි (Open Sesame)

        

          අද මම කියල දෙන්න යන මැජික් එක සමහර විට ඔයා දන්න එකක් වෙන්න පුලුවන්. ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක මම කියල දෙන්නම්. මේ ඕපන් සෙසමි (Open Sesame).

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

කාඩ් 21ක් රැ‍ගෙන කාඩ් 21 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක Open Sesame යන වචනය උපයෝගී කරගෙන නිවරදිව පෙන්වීම.

මෙන්න වැඩේ යන හැටි.

කාඩ් පැක් එකෙන් කැමති කාඩ් 21ක් වෙන් කරගන්න. දැන් මේ කාඩ් එකින් එක,මුහුණත (ඉලක්කම් ඇති පැත්ත)උඩට සිටින සේ වරකට එක වෙන්න ගොඩවල් 3කට වෙන් කරන්න.මෙලෙස කාඩ් 21 අවසන් වනතුරැ ගොඩවල් 3ට කාඩ් දමන්න. මෙලෙස වෙන් කරන අතර නරඹන්නාට යම් කාඩ් එකක් මතක තබා ගන්න කියන්න. දැන් ඔබට එක ගොඩකට කාඩ් 7 බැගින් වූ ගොඩවල් 3ක් ලැබී ඇති. දැන් නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ නරඹන්නාගෙන් අසා දැන ගන්න. ඉන්පසුව එම ගොඩ (නරඹන්නා මතක තබා ගත් කාඩ් එක ඇති ගොඩ) මැදට එනසේ ඉතුරැ ගොඩවල් 2ත් එක් කර එක ගොඩක් සකසා ගන්න. නැවතත් පෙර පරිදිම කාඩ් 21 ගොඩවල් 3කට වෙන් කර පෙර කී පරිදිම කරන්න. මෙය වාර 3ක් කල යුතුයි. ඉන් පසු Open Sesame යන වච‍නයේ අකුරෙන් අකුර කියමින් එක අකුරකට එක කාඩ් එක වෙන්න මේසය මත තියන්න. වචනය කියා අවසන් වූ පසු අතේ ඉතිරිවන ගොඩේ ඊලගට තිබෙන කාඩ් එක නරඹන්නා සිතා ගත් කාඩ් එකයි.

මෙන්න ප්‍රයෝගය.

මෙහිදී මෙය නිවරදිව වාර 3ක් කල හොත් නරඹන්නා සිතා ගත් කාඩ් එක වාර 3 අවසානයේ 11 වෙනි කාඩ් එක ලෙස කාඩ් පැක් එකේ තිබේවි. Open Sesame යන වච‍නයේ අකුරැ 10ක් ඇත. එය කියා අවසානයේ ඊලගට අතේ ඇති ගොඩේ මුලින්ම ඇත්තේ 11 වැනි කාඩ් එකයි (නරඹන්නා සිතාගත් කාඩ් එක).Open Sesame යන වචනය කියන්න කලින් නරඹන්නාට කියන්න මේ වචනය ඔබේ මැජික් වචනය බව. එය යොදා ගෙන කාඩ් එක සොයා ගන්නා බව කියන්න.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣


Thursday, September 9, 2010

ආසියන්ගේ සාදය 2 (Sick Aces)

         
           කොහොමද කට්ටියට ? මම හිතනව පලවෙනි මැජික් එක දැන් ‍ඔයාලට හොදට පුලුවන් ඇති කියල. මෙන්න එහෙනම් දෙවනි මැජික් එක. මේකත් කරල බලන්නකො.

මේකට කියන්නෙ Sick Aces කියලයි.මේකත් ආසියන්ගේ සාදය (Aces Party) වගේ එකක්.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදිත් අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ ගොඩවල් 4 අනිත් පැත්ත හරවනව.ඒ කියන්නෙ ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක බලනව. සෑම ගොඩකම අන්තිම කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න වැඩේ යන හැටි.

අපි කාඩ් පැක් එකේ කාඩ් එකින් එක, එක ගොඩක් හැදෙන සේ මේසය මත‍ට දමනව. අපේ නරඹන්නෙකුට කියනව එයා කැමති තැනකදි ඇති කියන්න කියල. එතනදි එම ගොඩට කාඩ් දමන එක නවත්වනව. ඊට පස්සෙ දෙවැනි ගොඩ. ඒකෙදිත් ඇති කිව්වම නවත්වනව. මේ විදිහට ගොඩවල් 4 කට වෙන් කරනව කාඩ් පැක් එක. ඊට පස්සෙ ගොඩවල් 4 අනිත් පැත්ත හරවනව.ඒ කියන්නෙ ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක බලනව. ගොඩවල් 4ම යට තියෙන කාඩ් එක ආසියා.

මෙන්න ප්‍රයෝගය.

වැඩේ පටන් ගන්න කලින් ආසියො 4 දෙනාගෙන් එක ආසියෙක් කාඩ් පැක් එකේ පළමු කාඩ් එක ලෙසත් අනෙක් 3 දෙනා කාඩ් පැක් එකේ අන්තිමටත් තියා ගන්න. මේක කරන්න ඕන මේසයක් ලග වාඩි වෙලා ඉන්න අවස්ථාවක. අනෙක තමයි කරන කෙනාගෙ අත් දෙක මේසෙ ගැට්ටට ටිකක් පහලින් තියාගන්නත් ඕන(ගොඩක්ම පහලින් නෙමේ). එතකොටයි වැඩේ ලේසි. පළමු ගොඩ මේසය මතට දාල ඉවරවුන ගමන් සැක නොහිතන ලෙස කාඩ් පැක් එකේ අන්තිමට ඉන්න ආසියන්ගෙන් එකෙක් කාඩ් පැක් එකේ පළමු කාඩ් එක ලෙස තබා ගන්න. මෙන්න මේකට තමයි අත් දෙක මේසෙ ගැට්ටට ටිකක් පහලින් තියාගන්නත් ඕන. එතකොට අනෙක් අයට නොපෙනි ගානට වැඩේ දෙන්න පුලුවන්.මේ විදිහට ඉතුරැ ආසියො දෙන්නටත් කරන්න. ගොඩවල් 4 හැදුනට පස්සෙ සෑම ගොඩකම අන්තිම කාඩ් එක විදිහට ආසියෙක් ඉදීවි.

කියන්න ඕනෙ නැහැනෙ. අවසන් ප්‍රතිඵලය පෙන්වන්න කලින් පොඩි වැඩක් දාන්න.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Tuesday, September 7, 2010

ආසියන්ගේ සාදය (Aces Party)

       
          ඕං එහෙනං හා හා පුරා කියල පලවෙනි මැජික් එක කියල දෙන්නයි යන්නෙ. කට්ටිය කාඩ් පැක් එකක් හොයාගෙන වැඩේට සෙට් වෙලා නේද ඉන්නෙ? මේකට කියන්නෙ ආසියන්ගේ සාදය (Ace Party) කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකෙදි අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ සෑම ගොඩකම පළමු කාඩ් එක අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න වැඩේ යන හැටි.

අපි නරඹන්නෙකුට කාඩ් පැක් එක දීල කියනව කාඩ් පැක් එක ගොඩවල් දෙකකට වෙන් කරන්න කියල. ඊට පස්සෙ ඒ ගොඩවල් දෙකත් තව ගොඩවල් දෙකකට වෙන් කරන්න කිය‍නව. දැන් ගොඩවල් 4ක් තියෙනව. ඊට පස්සෙ  කැමති ගොඩකින් මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඒ ගොඩේම යටින් තියනව. ඊට පස්සෙ ඒ ගො‍ඩෙන්ම මුලින්ම තියෙන කාඩ් 3 අරගෙන ඉතුරැ ගොඩවල් 3නේ උඩින්ම තියනව. එක‍ ගොඩකට එක කාඩ් එකක් වෙන්න. මේ විදිහට ඉතුරැ ගොඩවල් 3ටත් කරනව. ඊට පස්සෙ හැම ගොඩේම පළමු කාඩ් එක  අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්.

මෙන්න ප්‍රයෝගය.

වැඩේ පටන් ගන්න කලින් ආසියො 4 දෙනාම කාඩ් පැක් එකේ උඩින්ම තියා ගන්න. දැන් පෙර කී ලෙස වැඩේ කරන්න.

ඉතා වැදගත් : මෙහිදී ගොඩවල් 4ට වෙන් කිරීමේ දී ආසියො 4 දෙනා ඉන්න ගොඩ ‍හොදින් මතක තබා ගන්න. නරඹන්නාට ‍කාඩ් පැක් එක ගොඩවල් 4ට වෙන් කිරීමට පමණක් අවස්ථාව ලබා දෙන්න. නැත්නම් ඒ වැඩෙත් ඔබම කරන්න. ප්‍රශ්නයක් නෑ.ඒ වගේම කාඩ් මාරැ කිරීමට ඒ ගොඩ අවසානයටම ගන්න. නැත්නම් වැඩේ දෙල්. :D

කියන්න ඕනෙ නැහැනෙ. අවසන් ප්‍රතිඵලය පෙන්වන්න කලින් පොඩි වැඩක් දාන්න හොදේ.




යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න. ♠♦♥♣

Sunday, September 5, 2010

ආයුබෝවන්.....

         
          ඕං හැමෝටම ආයුබෝවන් කිව්ව. මේක අලුත් විදිහෙ වැඩක්. හැමෝම තාක්ෂණය, අධ්‍යාපනය, ජීවිත අද්දැකීම් වගේ දේවල් ගැන ‍බ්ලොග් ලියනවනෙ. ඉතිං මම හිතුව ටිකක් වෙනස් දෙයක් කරන්න. මේක ටිකක් විනෝදයට බර දෙයක්. කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවට ෆුල් ෆන් එකක් ගන්න ගමන් කට්ටියව හොල්මන් වෙලා යන විදිහෙ වැඩ ටිකක් කරන හැටි කියල දෙන්නයි යන්නෙ.

          මැජික්.ඒ කියන්න ඇස්බැන්දුම්. තව විදිහකට කියනව නම් ඇස රවටන විජ්ජාවන්.මැජික්වලත් විවිධ ආකාර තියෙනව. ශාලාවක් ඇතුලෙ එකවර විශාල පිරිසකට ඉදිරිපත් කරන මැජික්, පාරෙ ඇවිදගෙන යන ගමන් මුණ ගැසෙන පුද්ගලයන්ට ඉදිරිපත් කරන මැජික් (Street Magic) වගේ විවිධ ආකාර.මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ Street Magic වලට.මගේ ප්‍රියතම විදේශීය මැජික් ශිල්පීන් තමයි ක්‍රිස් ඒන්ජල්, ඩේවිඩ් කොෆර්ෆීල්ඩ්, ඩේවිඩ් බ්ලේන් හා බ්‍රයන් ඩීන් කියන්නෙ. අපේ හෂාන් අයියත් ඔය අතර ඉන්නව ඉතිං. ඔයාල මේ නම් අහලත් ඇති. සමහර විට නැතුවත් ඇති. හැබැයි මම හිතනව  ක්‍රිස් ඒන්ජල් සහ ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් කියන නම් දෙක නම් හීනෙන් හරි ඇහිල ඇති කියල.මොකද මේ දෙන්නම ලෝක ප්‍රසිද්ධ සිරාම වැඩ දාන දෙන්නෙක්.හැබැයි ඉතිං ඔය මොන වැඩේ දැම්මත් ඔක්කොම ඉතිං ඇස රවටන විජ්ජාවන් තමයි.ඩේවිඩ් කොෆර්ෆීල්ඩ් මෙයාගෙ සංදර්ශණ වලට ගොඩක්ම කැමරා ප්‍රයෝග සහ ආලෝක ප්‍රයෝග යොදා ගන්නව. මේව වලින් තමයි මෙයා ඇස රවටන්නෙ. ඉතිං අද ඉදල අපිත් හොද හොද වැඩ ටිකක් දාමු.

          මුලින්ම කියන්න ඕන මැජික් කරන හැටි ඉගන ගන්න කලින් අපි හැමෝම මැජික් බලන කොට ඇස් උඩ තියාගෙන කට ඇරගෙන තමයි බලන්නෙ. අපිට හිතාගන්න බෑ කොහොමද මේක කලේ කියල. නමුත් මැජික් කරන හැටි ඉ‍ගෙන ගත්තහම තමයි අපි දැන ගන්නෙ මේක කොයි තරම් ලේසි ප්‍රයෝගයක්ද කියල. ඉතිං මේකෙ තියෙන මැජික් ඉගෙන ගෙන ඉවර වෙලා "ආපෝ... මේකත් වැඩක්ද" කියල නම් කියන්න එපා.මොකද ප්‍රයෝගය දැන ගන්නකම් මේව අපි හැමෝටම මැක්සා වැඩ.

          නමුත් ප්‍රයෝගය දැනගත්තහම  ???

          ඒ නිසා අවසාන වශයෙන් මට මේ ‍බ්ලොග් එක කියවන හැමෝටම කියන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ මැජික් කියන්නෙ ඇස රවටන විජ්ජාවන් උනත් මැජික් ඉගෙන ගත්තට පස්සෙ මැජික් කියන දේ හෑල්ලුවට ලක් කරන්න නම් එපා.

          එහෙමනම් ඉතිං කට්ටිය කාඩ් පැක් එකකුත් හොයාගෙන වැඩේට සෙට් වෙමුකො. ♠♦♥♣