Pages

Friday, December 31, 2010

A Simple Card Trick

                              මේ ප්‍රයෝගය පළකරන්නෙ 2010 අවුරැද්දෙ අවසාන දව‍සෙ. ඒ කියන්නෙ 2010-12-31. ඒ වගේම මේ තමයි 2010 වසරේ මම ඔයාලට කියල දෙන අවසාන ප්‍රයෝගය.  දැන් ඉතිං අලුත් අවුරැද්දක් ලබන්නයි යන්නෙ. මුලින්ම ලබන්නාවූ අලුත් අවුරැද්ද සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්න ප්‍රයෝගය. ඒ තමයි Spelling Bee. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය අවුරැදු 4ක 5ක පොඩි ළමයෙකුට උනත් කරන්න පුලුවන් ප්‍රයෝගයක්.මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Simple Card Trick කියලයි. 

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

නරඹන්නා අහඹු ලෙස කාඩ් එකක් ගන්නවා. අරන් ඒ කාඩ් එක පැක් එකේ උඩින්ම තියනවා. ඊට පස්සෙ නරඹන්නා විසින්ම පැක් එක cut කරනවා. දැන් පැක් එක fan out කරල පෙන්වනවා. එහෙම පෙන්වද්දි එක කාඩ් එකක් අනෙක් පැත්ත හැරිල තියෙනවා. හැබැයි ඒ කාඩ් එක නම් නෙමේ නරඹන්නාගේ කාඩ් එක. ඒත් ඒ කාඩ් එකේ මුහුණත වටිනාකමට සමාන කාඩ් ප්‍රමාණයක් එතැන් සිට ඉවත් කලාට පසුව ඊලගට ලැ‍බෙන කාඩ් එක තමයි නරඹන්නාගේ කාඩ් එක. අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

‍මේක කරන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි. මේ ප්‍රයෝගය ඉදිරිපත් කරන්න කලින් ඔයා කැමති කාඩ් එකක් තෝර ගන්න. මුහුණත වටිනාකමක් සදහන් වෙලා තියෙන කාඩ් එකක් නම් වඩා සුදුසුයි. මේකෙදි වංශය ප්‍රශ්නයක් නෑ. කැමති වංශයකින් ගන්න පුලුවන්. අපි හිතමු ඔයා තෝර ගත්තෙ අංක 3 සහිත කාඩ් එකක් කියල. දැන් ඒ කාඩ් එක පැක් එකේ අවසාන කාඩ් එක ලෙස තියන්න. ඒ කියන්නෙ පැක් එකේ අන්තිමටම තියන්න. තියන්න ඕනෙ මුහුණත උඩට සිටින්න. ඒ කිවුවෙ අංක තියෙන පැත්ත උඩට.
අපි සාමාන්‍යයෙන් පැක් එකේ කාඩ් තියන්නෙ අංක තියෙන පැත්ත යටට නේ. මේකෙදි ඔයා තෝර ගත්ත කාඩ් එක විතරක්  අංක තියෙන පැත්ත උඩට සිටින සේ තියන්න.

දැන් පැක් එකෙන් තවත් ඔයා කැමති කාඩ් 3ක් ගන්න. කාඩ් 3ක් ගන්නෙ අපි මුලින් තෝර ගත්ත කාඩ් එක අංක 3 සහිත කාඩ් එකක් නිසා. ඔයා මුලින් අංක 5 සහිත කාඩ් එකක් තෝරගත්ත නම් මෙතනදි ඔයා කාඩ් 5ක් ගන්න. ඔයා මුලින් අංක 2 සහිත කාඩ් එකක් තෝරගත්ත නම් මෙතනදි ඔයා කාඩ් 2ක් ගන්න. මේ වගේ මුලින් ඔයා ගත්ත කාඩ් එකේ මුහුණත වටිනාකමට සමාන කාඩ් සංඛ්‍යාවක් ගන්න.

අරන් ඔයා මුහුණත යටට සිටින්න පැක් එකේ යටම තියපු කාඩ් එක යටින් මේ කාඩ් 3 තියන්න. මේ කාඩ් 3 තියන්නෙ සාමාන්‍ය විදිහ. ඒ කිවුවෙ මුහුණත යටට. දැන් හරි. දැන් ඔයා මුලින්ම තෝර ගත්ත කාඩ් එක (උදාහරණෙ හැටියට නම් අංක 3 කාඩ් එක) තියෙන‍්නෙ පැක් එකේ යට ඉදල කාඩ් 3කට උඩින්.

ඔන්න දැන් ඔයා ප්‍රයෝගය ඉදිරිපත් කරන්න සූදානම්.

මෙන්න ප්‍රයෝගය.

මුලින්ම ඔයා පැක් එක fan out කරල නරඹන්නාට පෙන්වන්න. මෙහිදී ඔයා මුහුණත උඩට සිටින්න තියපු කාඩ් නොපෙනෙන්න fan out කරන්න සැලකිලිමත් වෙන්න.

දැන් නරඹන්නාට කැමති කාඩ් එකක් තෝර ගන්න කියන්න. ඊට පස්සෙ ඒ කාඩ් එක මොකක්ද කියල මතක තියාගන්න කියන්න. දැන් ඒ කාඩ් එක පැක් එකේ උඩින්ම තියන්න කියන්න.
 ඊට පස්සෙ කැමති තැනකින් පැක් එක cut කරන්න කියන්න. දැන් cut එක සමුපූර්ණ කරන්න. cut එක සම්පූර්ණ කලාට පස්සෙ නරඹන්නාගේ කාඩ් එක පැක් එකේ මැද කොහේ හෝ තැනක ඇති.

දැන් ඔයා පැක් එක මුහුණත යටට සිටිනසේ fan out කරන්න. මෙහෙම fan out කරද්දි ඔයාට පෙනෙයි එක කාඩ් එකක මුහුණත උඩට හැරිල තියෙනවා. ඒ කාඩ් එක තමයි ඔයා මුලින්ම අරන් මුහුණත උඩට තියපු කාඩ් එක. දැන් නරඹන්නාගෙන් අහන්න මේක එයාගෙ කාඩ් එකද කියල. එයා නෑ කියයි. දැන් ඔයා කියන්න, හරි කමක් නෑ. මම දැන් මගේ විශේෂ මැජික් බලය භාවිතා කරනවා කියල. මෙහෙම කියල මොකක් හරි වැඩක් දාන්න.

දැන් නරඹන්නාගෙන් අහන්න ඒ මුහුණත උඩට තියෙන කාඩ් එකේ වටිනාකම කීයද කියල. අපේ උදාහරණෙ හැටියට නම් අංක 3. දැන් නරඹන්නාට කියන්න ඔයා එතන ඉදන් කාඩ් 3ක් ඉවත් කරනවා කියල. දැන් ඔයා කාඩ් 3ක් ඉවත් කරන්න. ( මුහුණත උඩට තියෙන කාඩ් එක හැර කාඩ් 3ක්. මුහුණත උඩට තියෙන කාඩ් එකත් එක්ක නම් කාඩ් ඔක්කොම 4යි ).

කාඩ් 3 ඉවත් කලාට පස්සෙ ඊලගට තියෙන කාඩ් එක තමයි නරඹන්නාගේ කාඩ් එක. මේ මම ඉදිරිපත් කරල තියෙන ස්ථාන වලංගු වෙන්නෙ මම අරන් තියෙන උදාහරණයට විතරයි. තමන් මුලින් ගන්න කාඩ් එකට අනුව මේ ස්ථාන වෙනස් වෙනවා.

ඉතිං මේ ප්‍රයෝගය පොඩි ප්‍රයෝගයක් උනාට නරඹන්නාට හිතා ගන්න බෑ ඇත්තටම මොකක්ද උනේ කියල. මේ ප්‍රයෝගය තවත් ලස්සනට ආකර්ෂණීය විදිහට කරන්න පුලුවන්  ඔයාට Riffle shuffle එක කරන්න පුලුවන්නම්. Riffle shuffle එක කියන්නෙ පැක් එක කොටස් 2කට වෙන් කරල එක මත එක කාඩ් වැටෙන්න කාඩ් දාන shuffle එකට. මේකෙදි පුලුවන් ඔයා මුලින්ම මුහුණත උඩට තියල හදාගත්ත කොටස වෙනස් නොවෙන්න කාඩ් දාල shuffle එක කරන්න. මම පස්සෙ දවසක කියල දෙන්නම් කොහොමද Riffle shuffle එක කරන්නෙ කියල. දැනට ඔයා දන්නව නම් විතරක් මේ ප්‍රයෝගයේදී Riffle shuffle එක යොදා ගන්න. එතකොට මේ ප්‍රයෝගය තවත් ලස්සන වෙනවා.

එහෙමනම් යාලුවනේ 2011 වසරේදී අලුත් ප්‍රයෝගයක් සමග නැවත මුණගැසෙමු.

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Thursday, December 23, 2010

Spelling Bee Trick

                              හොදයි යාලුවනේ, ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඒ වගේම මම පොරොන්දු වූ විදිහටම magics4me බ්ලොග් අඩවියෙන් පවත්වන තරගයේ පසුගිය මාසයේ ජයග්‍රාහකයන්ටත් ඔන්න තෑගිත් දුන්න. නත්තලත් ලග ලගම එන නිසා අපේ නත්තල සමරන යාලුවන්ටත් ලබන්නාවූ නත්තල සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නත්තලක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Spelling Bee කියලයි. 

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා අහඹු ලෙස පැක් එකේ තියෙ‍‍‍න කාඩ් 10 ක් ගන්නවා. අරන් 1 සිට 10 වෙනකන් ඉලක්කම් කියමින් කාඩ් ‍මේසය මතට දානවා. හරියටම ඔයා කියන අංක පිළිවෙලටම මේසය මතට කාඩ් වැටෙනවා. ඒ කියන්නෙ ඔයා ONE කියන වචනය කියල මේසය මතට දාන කාඩ් එක අංක 1 කාඩ් එක. ඔයා TWO කියන වචනය කියල මේසය මතට දාන කාඩ් එක අංක 2 කාඩ් එක. මේ වගේ අංක 10ට යනකන් පිළිවෙලට කාඩ් දාන එක තමා මේකෙදි වෙන්නෙ. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.

මෙන්න වැඩේ යන හැටි.

මේක කරන්න නම් මුලින්ම ඔයා ඔයාගෙ පැක් එක කිසියම් පිළිවෙලකට සකස් කරගෙන ඉන්න ඕන. ඒක කරන්නෙ කොහොමද කියල ඔය පහල දාල තියෙන පිංතූරෙන් පෙන්නල තියෙනවා. ඉතිං මුලින්ම ඔයා ඒ පිංතූරෙ තියෙන විදිහට 1 සිට 10ක් තෙක් ඉලක්කම් තියෙන කාඩ් 10ක් අරන් ඒ පිළිවෙලට හදාගන්න. මේකෙදි වංශය ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති නම් එකම වංශයෙන්ම කාඩ් 10 ගන්න. නැත්නම් අපිළිවෙලට වංශ කීපයකින් කාඩ් ගන්න.



දැන් ඔයා ඉහත රෑපයේ පරිදි කාඩ් සකස් කර ගත්තට පස්සෙ වරකට එක කාඩ් එක වෙන්න, ඔයාගෙ එක් අතක සිට අනෙක් අතට කාඩ් මාරැ කරන්න. ඒ කියන්නෙ අපි හිතමු කාඩ් 10 තියෙන්නෙ ඔයාගෙ වම් අතේ කියල. ඉතිං වරකට එක කාඩ් එක වෙන්න වම් අතෙන් දකුණු අතට කාඩ් යවන්න. එහෙම කලාම දැනට කා‍ඩ් තියල තියෙන පිළිවෙල වෙනස් වෙනවා. මේක කලාට පස්සෙ ඔයාගෙ අතේ තියෙන කාඩ් 10 උඩම තියෙන කාඩ් එක වෙන්නෙ අංක 9 කාඩ් එක. ඊලගට තියෙන්නෙ අංක 7 කාඩ් එක. ඔය විදිහට පිළිවෙල මාරැ වෙලා තමයි තියෙන්නෙ.

දැන් ඔයා මේ කාඩ් 10 පැක් එකේ උඩින්ම තියන්න. අපි දැන් බලමු කොහොමද ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කියල. හොදින් මතක තියා ගන්න, ඔයා මේ සේරම දේවල් කරන්න ඕනෙ නරඹන්නාට නොපෙනෙන්නයි. නරඹන්නා ඉදිරියට යන්න කලින් පැක් එක මේ විදිහට හදාගෙන යන්න.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා පැක් එක fan out කරල නරඹන්නාට කාඩ් පෙන්වන්න පිළිවෙලකට නෙමෙයි තියෙන්නෙ කියල. fan out කරන්නෙ කොහොමද කියල මම මීට කලින් ප්‍රයෝග වලදි කියල තියෙනව නේ. හැබයි ඉතිං පුරැද්දට වගේ පැක් එක shuffle කරන්න එහෙම යන්න එපා. එහෙම කලොත් නම් වැඩේ ලෙඩේ වෙනවා. පැක් එක shuffle කරලත් මේ ප්‍රයෝගය කරන්න පුලුවන්. ඒක කරන්න නම් shufflling technics දැන ගෙන ඉන්න ඕනෙ. විවිධ shufflling technics තියෙනවා පැක් එක කොච්චර shuffle කලත්, පෙර සූදානම් කරගත් ආකාරයෙන්ම පැක් එක තියෙන විදිහටම තියාගන්න පුලුවන් විදිහෙ. උදාහරණයක් විදිහට Butterfly Technic එක කියන්න පුලුවන්. ඒකෙදි පුලුවන් පැක් එකේ Top Card එක, ඒ කියන්නෙ පැක් එකේ උඩම තියෙන කාඩ් එක වෙනස් නොවෙන්න පැක් එක ලස්සනට cut කරන්න. ඉතිං මම ඉදිරියේදි ඔයාලට කියල දෙන්නම්  පැක් එක shuffle කිරීමේ හා cut කිරීමේ විවිධ ක්‍රම කීපයක්.

හොදයි. නරඹන්නාට පැක් එක  fan out කරල පෙන්නල ඉවර වෙලා, ඔයා කියන්න මම දැන් මේ පැක් එකේ උඩම තියෙන කාඩ් 10 ගන්නව කියලා. මේකෙදි ඔයා කාඩ් 10 ගන්න ඕනෙ කලින් කලා වගේම වරකට එක වෙන්න, එක අතකින් අනෙක් අතට කාඩ් මාරැ කරල. එහෙම කලාම ආයෙත් ඒ කාඩ් 10 ඉහත රෑපයේ තියෙන ආකාරයටම සකස් වෙනවා.

දැන් ඔයා අනෙක් කාඩ් ටික පැත්තකින් තියල, අර කාඩ් 10 අතට අරන්, ගනන් කරන්න පටන් ගනන්. ඒක කරන්න ඕනෙ මේ විදිහට. අංක 1න් නෙ අපි ගනන් කරන්න පටන් ගන්නෙ. ඉතිං අංක 1 කියන්නෙ ONE. ඔයා O අකුර කියල අතේ තියෙන කාඩ් 10යෙ, මුලින්ම තියෙන කාඩ් එක අරන්, අතේ තියෙන ගොඩේ පිටු පසින් ති‍යන්න. ඊට පස්සෙ N අකුර කියල අතේ තියෙන කාඩ් 10යෙ, මුලින්ම තියෙන කාඩ් එක අරන්, අතේ තියෙන ගොඩේ පිටු පසින් ති‍යන්න. ඊට පස්සෙ E අකුර කියල ඒ කාඩ් එක අරන් මේසය මත තියන්න. ඒ කාඩ් එක තමා අංක 1 කාඩ් එක.

මේ ආකාරයට 2,3,4,5,6,7,8,9,10 යන ඉලක්කම් වල අකුරැ පිළිවෙලින් කිය කිය කාඩ් මේසය මත තියන්න. ලස්සනට 1 සිට 10 තෙක් කාඩ් පිළිවෙලට මේසය මතට වැටේවි.

මතක තියාගන්න, සෑම වචනයකම අන්තිම අකුරට අයත් කාඩ් එක තමයි මේසය මත තියන්නෙ. අනෙක් අකුරැ වලට අයත් කාඩ් අතේ තියෙන ගොඩේ පිටුපසට තමයි යන‍්නෙ. වැඩේ කරල කොහෙමද කියල ප්‍රතිචාරයකුත් දාලම යන්නකො.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Wednesday, December 15, 2010

Who is the Winner ? || ජයග්‍රාහකයා ඔබද ?

ඔන්න මම දෙවනි වතාවටත් තෑගි දෙන්නයි යන්නෙ. කලින් පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ.

ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට මුලින්ම  Video Tutorial එකක් තෑගි දුන්නා. ඉතිං මෙවරත් මම තීරණය කලා, මෙවර ජයග්‍රාහකයන්ටත් Magic Video Tutorial එකක් දෙන්න.

මේ Video Tutorial එක Card Changing Tutorial එකක්. මේක තමයි World Fastest Card Trick එක. ඔයාල දැකල ඇතිනේ කාඩ් එකක් අතට අරන් පෙන්වල, snap එකක් දෙනගමන්ම ක්ෂණිකව ඒ කාඩ් එක වෙනස් කරනවා. අන්න ඒ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කොහොමද කියල තමයි මෙවර ජයග්‍රාහකයන්ට ලැබෙන Magic Video Tutorial එකෙන් පැහැදිලි කරන්නෙ.

ඉතිං මෙන්න මේ අය තමයි magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයේ පසුගිය මස ජයග්‍රාහකයින්.
   
    Isuru Buddhika.
    Dharshana Asanga.

ඔබ දෙදෙනාට magics4me බ්ලොග් අඩවියෙන් සුභපැතුම්.

මීලග මස ජයග්‍රාහකයා ඔබ විය හැකියි. තවමත් තරගයට සහභාගීවුනේ නැත්නම් මෙතනට ගිහින් දී ඇති විස්තර අනුව තරගයට සම්බන්ධ වන්න. ඔබට ජය!!!.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Friday, December 10, 2010

Remarkable Prediction

                              කොහොමද කට්ටියට ? තවත් කාර්යය බහුල සතියක් ඉවරවුනා. කලින් නම් මම සතියකට ප්‍රයෝග 2ක් විතර දැම්මා. ඒත් දැන්නම් පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ. එහෙමයි කියල ඉතිං පෝස්ට් නොදමා ඉන්නත් බෑනේ. ඒ නිසා සතියකට එක පෝස්ට් එකක්වත් දානවා කොහොම හරි. ඉතිං මම හිතනවා ඔයාල කලින් ප්‍රයෝගය හොදින් කරන්න ඇති කියල. ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. ඒ කිවුවෙ කොහොමද අනාවැකියක් කියන්නෙ කියල කියා දෙන්නයි යන්නෙ. වැඩේ හරියට අල්ල ගත්තොත් නම් ඉතිං කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙ රැකියාවකට එහෙම සහතික නැතිව වුනත් යන්න පුලුවන් වැඩ පෙන්නල. :D. අපි බලමු එහෙමනම් කොහොමද හරියටම අනාවැකියක් කියන්නෙ කියල. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Remarkable Prediction කියලයි.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

ඔයා අහඹු ලෙස කාඩ් කීපයක් පැක් එකෙන් අරගන්නවා. ඊට පස්සෙ නරඹන්නාටත් කියනවා කාඩ් කීපයක් ඔයා අහඹු ලෙස ගත්ත කාඩ් ගොඩෙන් ගන්න කියල. ඊට පස්සෙ ඔයා අතේ ඉතිරි වෙලා තියෙන කාඩ් ටික මේසය මත අතුරලා ඒ කාඩ් වලින්, නරඹන්නා ගත්ත කාඩ් ප්‍රමාණයට සමාන කාඩ් ප්‍රමාණයක් ඉවත් කරනවා. ආ... කියන්න අමතක වුනා. මීට කලින් ඔයා කොල කෑල්ලක ලියන්න ඕන ඔයාගෙ අනාවැකිය. ඉතිං නරඹන්නා ගත්ත කාඩ් ප්‍රමාණයට සමාන කාඩ් ප්‍රමාණයක් ඉවත් කරාට පස්සෙ ඉතිරි වෙන කාඩ් ගොඩේ මුලින්ම තියෙන කාඩ් එක හරවලා බලන්න කියල නරඹන්නාට කියනවා. ඊට පස්සෙ ඔයා ලියපු අනාවැකියත් බලන්න කියනවා. වැඩේ කියන්නෙ මේ දෙකම කිරි ගහට ඇන්න වගේ හරිනේ... (කිරි ගහට ඇන්න වගේ හරි යන්නෙ සම්මත තත්ත්වයන් යටතේදී පමණී).

මෙන්න වැඩේ යන හැටි.

ම්ම්ම්... දැන් ඉතිං චිරාගත සාම්ප්‍රධායන්ට මුල් තැන දෙමින් නරඹන්නාට දෙන්න පැක් එක හොදින් shuffle කරල දෙන්න කියල. නරඹන්නා පැක් එක shuffle කරල ඉවර වෙනකන් ඔයා ප්ලේන්ටියක් එහෙම බීල එන්න. නරඹන්නා පැක් එක shuffle කරල ඉවර වුනාම ඔයාත් පැක් එක shuffle කරන්න. shuffle කරල ඉවර වෙලා නරඹන්නාට පැක් එක fan out කරල පෙන්වන්න ඔයා shuffle කරල පැක් එක කිසියම් පිළිවෙලකට හදාගත්තෙ නෑ කියල. ඔන්න ඉතිං දැන් තමා වැඩේට හරියටම එන්ටර් වෙන්න හදන්නෙ. ඒ කියන්නෙ කිරි ගහට ඇන්න වගේ වැඩේ හරියන්න නම් ඉතිං මෙතනදි තමා පිහිය තුඩේ මුවහත හොදින් තියා ගන්න ඕනෙ. ඒ කිවුවෙ ඔයා පැක් එක fan out කරල නරඹන්නාට පෙන‍්වන අතරතුරේදි හොදින් බලාගන්න පැක් එකේ 10 වෙනියට තියෙන කාඩ් එක මොකක්ද කියල. මේ වැඩේ හරියට කරගත්තෙ නැතොත් නම් ඉතිං කිරි ගහට ඇන්න වගේ අන්තිමේදි ඔයා නෝන්ඩි වෙනවා. අපි හිතමු 10 වෙනියට තියෙන්නෙ 3 of clubs කාඩ් එක කියල.

හරි. දැන් ඔයා පැක් එකෙන් කාඩ් කිහිපයක් අහඹු ලෙස ගන්න ඕන. අහඹු ලෙස කිවුවට ඉතිං අහඹු ලෙසමත් නෙමේ. පැක් එකේ මුලින්ම තියෙන කාඩ් 21 තමා ඔයා ගන්න ඕනෙ. නරඹන්නාට කියන්න ඔයා දැන් පැක් එකෙන් අහඹු ලෙස කාඩ් කීපයක් ගන්නවා කියල. මෙහෙම කියල ඉක්මනින් පැක් එකේ උඩම තියෙන කාඩ් 21 ගනන් කරල ගන්න. දැන් ඒ කාඩ් 21 අතේ තියාගෙන ඉතිරි කාඩ් ටික පැත්තකට දාන්න. ඒ ටික වැඩක් නෑ අපිට.

දැන් ඔයා ගත්ත කාඩ් 21 නරඹන්නා අතට දෙන්න. දීලා නරඹන්නාට කියන්න 1ත් 10ත් අතර කැමති ඉලක්කමක් හිතා ගන්න කියල. නරඹන්නා ඉලක්කමක් හිතා ගත්තට පස්සෙ ඔයා අනෙක් පැත්තට හැරෙන්න. ඒ කිවුවෙ නරඹන්නාට පිටුපාල ඉන්න. එතකොට ඔයාට නරඹන්නා කරන දේවල් පේන්නෙ නෑනේ. දැන් මේ විදිහට අනෙක් පැත්තට හැරිල ඉන්න ගමන් නරඹන්නාට කියන්න, එයා හිතා ගත්ත සංඛ්‍යාවට අදාල කාඩ් ප්‍රමාණය පැක් එකේ උඩම තියෙන කාඩ් වලින් ඉවත් කර ගන්න කියල. ඒ කිවුවෙ, අපි හිතමු නරඹන්නා හිතා ගත්තෙ අංක 6 කියල. දැන් නරඹන්නාට කරන්න තියෙන්නෙ එයා ලග තියෙන කාඩ් ගොඩේ මුලින්ම තියෙන කාඩ් 6 ඉවත් කරගන්න එකයි.

එහෙම ඉවත් කරල, ඒ ඉවත් කරපු ටික නරඹන්නාට ලග තියා ගන්න කියන්න. ඉතුරැ කාඩ් ටික ඔයා ඉල්ල ගන්න. ඉල්ල ගත්තට ඔයා පැක් එකේ මොනවත් බලන්න එහෙම යන්න එපා. නිකන් මේසය මත ඒ ටික තියන්න.


මෙන්න ප්‍රයෝගය.

ඔන්න දැන් තමා ඔයා අනාවැකිය කොලේ ලියන වෙලාව. දැන් ඉතිං කොලයක් අරන් ඔයා කලින් මතක තියා ගත්තනේ කාඩ් එකක්. අර පැක් එකේ 10 වෙනියට තිබුන කාඩ් එක. අන්න ඒ කාඩ් එක මොකක්ද කියල ලියන්න. මගේ උදාහරනෙ හැටියට නම්  3 of clubs කාඩ් එක තමා 10 වෙනියට තිබුනෙ. මේක නරඹන්නාට පේන්න ලියන්න එපා. එතකොට කිසි ගතියක් නෑනේ. නරඹන්නාට නොපෙනෙන්න ලියන්න. ලියල ඉවර වෙලා ඒ කොල කෑල්ල හොදින් නමලා මේසය මත තියන්න.

දැන් ඔයා නරඹන්නාගෙන් ඉල්ල ගෙන මේසය මත තියපු කාඩ් ටික ගන්න. අරන් මේසය මත, දකුණු පැත්තේ සිට වම් පැත්තට කාඩ් 10ක් දාන්න. හොදින් මතක තියා ගන්න. දකුණු පැත්තේ ඉදලා වම් පැත්තටයි දාන්නෙ. ඔන්න පැත්ත මාරැ කර ගන්නව එහෙම නෙමෙයි. පැත්ත මාරැවුනා කියල ප්‍රයෝගය කරන්න බැරි කමක් නම් නෑ. මම මෙතනදි කියල දෙන්නෙ දකුණු පැත්තේ සිට වම් පැත්තට කාඩ් දාල කරන හැටි. ඒ නිසා ඒ විදිහට කරන්න.

මෙහෙම දැම්මට පස්සෙ ඔයා අතෙත් කාඩ් එකක් හෝ කීපයක් ඉතිරි වෙයි. ඒ ඉතිරිවෙන ඒවා පැත්තකින් තියන්න. දැන් ඔයා නරඹන්නාගෙන් අහන්න, මුලින්ම එයාට 1ත් 10ත් අතර ඉලක්කමක් හිතා ගන්න කිවුවනේ. හිතා ගෙන ඊට අදාලව කාඩ් ප්‍රමාණයකුත් ගන්න කිවුවනේ. ඉතිං අන්න ඒ වෙලාවෙදි නරඹන්නා හිතාගත්ත ඉලක්කම මොකක්ද කියල අහන්න. නරඹන්නා ඒ ඉලක්කම මොකක්ද කියල කිවුවාම ඔයා මේසය මත අතුරපු කාඩ් 10, වම් පැත්තෙ ඉදල දකුණු පැත්තට ඒ සංඛ්‍යාව ගනන් කරන්න. පැත්ත මාරැ කර ගන්න එපා. වම් පැත්තෙ ඉදල දකුණු පැත්තටයි ගනන් කරන්න ඕනේ.

ඉතිං අපේ උදාහරනෙ හැටියට නරඹන්නා හිතා ගත්තෙ අංක 6 නේ. ඉතිං මේසය මත තියෙන කාඩ් පේලියේ වම් පැත්තෙ ඉදල දකුණු පැත්තට මම කාඩ් 6ක් ගනන් කරනවා. ගනන් කරල ඒ කාඩ් 6 ඉවත් කරනවා. ඉවත් කරලා ඊලගට තියෙන කාඩ් එක මොකක්ද කියල, කාඩ් එක face up කරල (මුහුණත උඩට හරවලා) නරඹන්නාට පෙන්වනවා. ඒ කියන්නෙ 7 වෙනියට තියෙන කාඩ් එක. දැන් ඔයා කොලයක කලින් ලිවුවා නේද ඔයාගේ අනාවැකිය. අන්න ඒ කොලෙත් දිග ඇරලා බලන්න කියල නරඹන්නාට කියන්න.

ඔයා වැඩේ හරියට කලා නම් ඉතිං ඔයාගේ අනාවැකිය හරියටම හරි. ඒ කියන්නෙ අපේ උදාහරනෙ හැටියට නම්, මම කොලේ ලිවුවෙ 3 of clubs කියලනේ. ඒවගේම 7 වෙනියට තියෙන්නෙත් 3 of clubs කාඩ් එක. ඉතිං ඔයාගේ අනාවැකිය කිරි ගහට ඇන්න වගේ හරියටම හරියනවා .

මේක නිකම්ම පෙන්නනවට වඩා තවත් කරන්න වැඩ එහෙම තියෙනවා. ඔයාල සමහර විට දැකල ඇති කොලයක යමක් ලියල ඒ කොලේ පුච්චලා, ඒකෙන් ලැබෙන අලු බාහුවක ගා ගන්නවා. එහෙම අලු ගාන කොට ඒ කොලේ ලියල තිබුන එක බාහුවෙ අලු ගාන තැනින් මතුවෙනවා. දැකල තියෙනවද ඔයාල ? අන්න ඒ වැඩේ මෙතෙන්දිත් කරන්න පුලුවන්. ඒක කරන්නෙ කෙ‍හොමද කි‍යල මම පස්සෙ දවසක කියල දෙන්නම්කො.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

Sunday, December 5, 2010

Jack The Bounty Hunter Trick

ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා කාර්යය බහුල සතියක් වුනා. මේ සතිය කියලත් වෙනසක් නෑ ඉතිං. එහෙමයි කියල බ්ලොග් ලිවිල්ල නවත්වන්න බෑනෙ. මම හිතනව කලින් ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඉතිං සතියකට පස්සෙ පලකරන ප්‍රයෝගයනෙ මේක. පරක්කුවෙලා දෙන එකේ ටිකක් පිස්සු හැදෙන ප්‍රයෝගයක් දෙන්න හිතුව. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Jack The Bounty Hunter කියලයි. සමහරවිට ගොඩක් පිස්සු හැදෙන්නත් පුලුවන්. ඒ නිසා ප්‍රවේශමෙන්. :D

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මෙන්න මේකයි කතන්දරේ. මේකට මේ නම වැටිල තියෙන්නෙ සාමාන්‍යයෙන් මේ ප්‍රයෝගයට භාවිතා කරන්නෙ Jack කාඩ් එකක් නිසා. ඕනම Jack කාඩ් එකක් ගන්න පුලුවන්. ඇත්තටම මේකෙ වෙන්නෙ මේ Jack කාඩ් එක මගින් නරඹන්නා ගන්න කාඩ් එක හොයා ගන්න එකයි. එහෙම නම් අපි වැඩේට සෙට් වෙමු.

මෙන්න වැඩේ යන හැටි.

ඔන්න වැඩේ. මුලින්ම සුපුරැදු පරිදි පැක් එක නරඹන්නාට දෙන්න හොදින් shuffle කරල දෙන්න කියල. මෙහෙම නරඹන්නාට පැක් එක shuffle කරන්න කියල දුන්නම ඉතිං නරඹන්නත් දන්න ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම දාල පැක් එක shuffle කරනවනේ කරවන්නම් උඹට මම මැජික් කියල හිතාගෙන. සමහර අය shuffle කරන shuffle කිරිල්ලට පැක් එකේ කොලත් හතර වටේ පියාඹනවා. වෙලාවකට ඒකත් card levitation trick එකක් වගේ. මට නම් ඔය වෙලාවට මල පනිනවා. මොකද පැක් එකේ කාඩ් සවුත්තු වුනාම හරියට ප්‍රයෝගය ඉදිරිපත් කරන්නත් බෑ. කතාව නවත්තල වැඩේට බහිමුකො.

නරඹන්නා පැක් එක shuffle කලාට පස්සෙ ඔයා කැමති Jack කාඩ් එකක් ගන්න. අරන් ඒ කාඩ් එක මේසය මත මුහුණත උඩට සිටිනසේ ඔයා ලගින් තියා ගන්න. දැන් පැක් එකෙන් කාඩ් 15ක් වෙන් කරල ගන්න. ඒ කාඩ් 15 නරඹන්නාට දෙන්න එයා  ලගින් මේසය මත තියා ගන්න කියල. දැන්  තවත් කාඩ් 15ක් ගන්න. ඒ කාඩ් 15 ඔයා ලගින් මේසය මත තියා ගන්න. ඉතිරි කාඩ් ටික ඔයා අතේ තියා ගන්න.

දැන් නරඹන්නාට කියන්න එයා ලග තියෙන කාඩ් ගොඩ කැමති තැනකින් cut කරල ගොඩවල් 2කට වෙන් කර ගන්න කියල. ඔයා ලග තියෙන ගොඩටත් ඔයා ඒ විදිහට කරන්න. දැන් මේසය මත කාඩ් ගොඩවල් 4ක් තියෙනවා. නරඹන්නා ලග ගොඩවල් 2යි. ඔයා ලග ගොඩවල් 2යි.

දැන් ඔයා අතේ තියෙන කාඩ් ටික fan out කරන්න. කරල නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් තෝර ගන්න කියල. මේ ගොඩෙන් අපිට වැඩක් නෑ. නරඹන්නා කාඩ් එක තෝර ගත්තයින් පස්සෙ මේ ගොඩ පැත්තකට දාන්න. දැන් නරඹන්නාට ඒ කාඩ් එක මොකක්ද කියල හොදින් මතක තියාගෙන, එයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ‍ගොඩක් මත තියන්න කියන්න. දැන් ඔයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ගොඩක් පෙන්වන්න කියල නරඹන්නාට කියන්න. එයා පෙන්වන ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් නරඹන්නා ගත්ත කාඩ් එක එම ගොඩේ මැද තමයි තියෙන්නෙ.

දැන් ඔයා කලින් ගත්ත Jack කාඩ් එක අරන් ඔයා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ උඩින් තියන්න. Jack කාඩ් එක තියන්න ඕනෙ මුහුණත උඩට සිටින්න. දැන් නරඹන්නා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ අරන් මේ Jack කාඩ් එක උඩින් තියන්න. දැන් Jack කාඩ් එක තියෙන්නෙ ඔයා ලග තියෙන ගොඩේ මැද.

දැන් මේසය මත කාඩ් ගොඩවල් 2ක් තියෙනවා. එකක් නරඹන්නා එයාගෙ කාඩ් එක තියාපු ගොඩ. අනික ඔයා Jack කාඩ් එක තියාපු ගොඩ. දැන් මේ Jack කාඩ් එක තියාපු ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් මේසය මත තියෙන්නෙ එක ගොඩයි.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා මේ ගොඩ අතට ගන්න. අරන් ගොඩවල් 2කට කාඩ් දාන්න. මෙහෙම දාන අතරෙ ඔයාට පෙනෙයි Jack කාඩ් එකත් මේ දාන ගොඩවල් 2න් එකකට වැටෙනවා. මොකද අපි Jack කාඩ් එක තිවුවෙ මුහුණත උඩට සිටින විදිහටනේ. ඔයා අතේ තියෙන කාඩ් සියල්ලම මේ විදිහට දාන්න ගොඩවල් 2ට. දැන් Jack කාඩ් එක වැටිච්ච ගොඩ අතට අරන් අනෙක් ගොඩ ඉවත් කරන්න. මේ ආකාරයෙන් මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4ක් වන තෙක් කාඩ් දාන්න. කාඩ් 4ක් වන තෙක් කියන්නෙ, අපි ගොඩවල් 2කට නෙ කාඩ් දාන්නෙ. ඉතිං එක ගොඩකට කාඩ් 2ක් පමණක් එන අවස්ථාව වන තෙක් කාඩ් දාන්න. එක ගොඩකට කාඩ් 2ක් ආවා කියන්නෙ මේසය මත ගොඩවල් 2කට කාඩ් දාන නිසා මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4යි නෙ.

ඉතිං ඉහත කී අවස්ථාවට ආවමත් ඔයාට පෙනෙයි Jack කාඩ් එක, එක ගොඩක තියෙනවා. මොකද අපි Jack කාඩ් එක තියෙන ගොඩ තෝර ගෙනනේ මේ ප්‍රයෝගය ඉදිරියට කරගෙන එන්නෙ.

දැන් ඉතිං අදහන දෙයියෙක් සිහිකරගෙන Jack කාඩ් එකත් එකක් තියෙන අනෙක් කාඩ් එක පෙන්වන්න. මේ ප්‍රයෝගය හරියට කලානම් Jack කාඩ් එකත් එක්ක තියෙන අනෙක් කාඩ් එක තමයි නරඹන්නා ගත්ත කාඩ් එක.

අදහන දෙයියෙක් සිහිකර ගන්න කිවුවෙ මේක වෙන ප්‍රයෝග වගේ නොවන නිසා. මොකද වෙන ප්‍රයෝග වලදි නම් ප්‍රයෝගය කරගෙන යන අතර මගදිම අපට දැන ගන්න පුලුවන් ක්‍රම තියෙනවා නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල සහ ඒ කාඩ් එක අපිට අවශ්‍ය විදිහට පිහිටනවද කියල. නමුත් මේ ප්‍රයෝගයේදි නම් ඒකට ඉඩක් නෑ. කාඩ් ගොඩවල් 2කට වෙන් කරද්දිත් හොදින් ඒ ගැනම අවදානය යොදවල ඒක කරන්න ඕන. මොකද වැරදිලා හරි කොහේ හරි මිස් එකක් වුනොත් ඉතිං අන්තිමට කිංඩි තමයි.

ප්‍රයෝගයෙ Jack කාඩ් එක ඔයාගෙ ගොඩ මත තියන අවස්ථවෙදි, ඒක තියන්න කලින් පොඩි වැඩක් දාන්න Jack කාඩ් එකට විශේෂ බලයක් දෙනවා වගේ. එහෙම කරල නරඹන්නාට කියන්න ඔයා මේ Jack කාඩ් එකට විශේෂ බලයක් දුන්න කියල නරඹන්නා ගත්ත කාඩ් එක හොයා ගන්න.

ඉතිං හැමදාම කියනවා වගේ ඉදිරිපත් කිරීම තමා වැදගත් වෙන්නෙ. නරඹන්නා ආකර්ෂණය කරගන්න පුලුවන් වෙන විදිහෙ, තමන්ටම ආවේනික වූ ඉදිරිපත් කිරීමේ ශෛලියක් හදාගන්න. ඒ ශෛලියට අනුව ප්‍රයෝග ඉදිරිපත් කරන්න. එවිටයි පොඩි ප්‍රයෝගයක් උනත් නරඹන්නා විශ්මයට පත්වෙන ගොඩක් ලොකු ප්‍රයෝගයක් වගේ ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්නෙ.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣