Pages

Sunday, December 5, 2010

Jack The Bounty Hunter Trick

ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා කාර්යය බහුල සතියක් වුනා. මේ සතිය කියලත් වෙනසක් නෑ ඉතිං. එහෙමයි කියල බ්ලොග් ලිවිල්ල නවත්වන්න බෑනෙ. මම හිතනව කලින් ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඉතිං සතියකට පස්සෙ පලකරන ප්‍රයෝගයනෙ මේක. පරක්කුවෙලා දෙන එකේ ටිකක් පිස්සු හැදෙන ප්‍රයෝගයක් දෙන්න හිතුව. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Jack The Bounty Hunter කියලයි. සමහරවිට ගොඩක් පිස්සු හැදෙන්නත් පුලුවන්. ඒ නිසා ප්‍රවේශමෙන්. :D

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මෙන්න මේකයි කතන්දරේ. මේකට මේ නම වැටිල තියෙන්නෙ සාමාන්‍යයෙන් මේ ප්‍රයෝගයට භාවිතා කරන්නෙ Jack කාඩ් එකක් නිසා. ඕනම Jack කාඩ් එකක් ගන්න පුලුවන්. ඇත්තටම මේකෙ වෙන්නෙ මේ Jack කාඩ් එක මගින් නරඹන්නා ගන්න කාඩ් එක හොයා ගන්න එකයි. එහෙම නම් අපි වැඩේට සෙට් වෙමු.

මෙන්න වැඩේ යන හැටි.

ඔන්න වැඩේ. මුලින්ම සුපුරැදු පරිදි පැක් එක නරඹන්නාට දෙන්න හොදින් shuffle කරල දෙන්න කියල. මෙහෙම නරඹන්නාට පැක් එක shuffle කරන්න කියල දුන්නම ඉතිං නරඹන්නත් දන්න ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම දාල පැක් එක shuffle කරනවනේ කරවන්නම් උඹට මම මැජික් කියල හිතාගෙන. සමහර අය shuffle කරන shuffle කිරිල්ලට පැක් එකේ කොලත් හතර වටේ පියාඹනවා. වෙලාවකට ඒකත් card levitation trick එකක් වගේ. මට නම් ඔය වෙලාවට මල පනිනවා. මොකද පැක් එකේ කාඩ් සවුත්තු වුනාම හරියට ප්‍රයෝගය ඉදිරිපත් කරන්නත් බෑ. කතාව නවත්තල වැඩේට බහිමුකො.

නරඹන්නා පැක් එක shuffle කලාට පස්සෙ ඔයා කැමති Jack කාඩ් එකක් ගන්න. අරන් ඒ කාඩ් එක මේසය මත මුහුණත උඩට සිටිනසේ ඔයා ලගින් තියා ගන්න. දැන් පැක් එකෙන් කාඩ් 15ක් වෙන් කරල ගන්න. ඒ කාඩ් 15 නරඹන්නාට දෙන්න එයා  ලගින් මේසය මත තියා ගන්න කියල. දැන්  තවත් කාඩ් 15ක් ගන්න. ඒ කාඩ් 15 ඔයා ලගින් මේසය මත තියා ගන්න. ඉතිරි කාඩ් ටික ඔයා අතේ තියා ගන්න.

දැන් නරඹන්නාට කියන්න එයා ලග තියෙන කාඩ් ගොඩ කැමති තැනකින් cut කරල ගොඩවල් 2කට වෙන් කර ගන්න කියල. ඔයා ලග තියෙන ගොඩටත් ඔයා ඒ විදිහට කරන්න. දැන් මේසය මත කාඩ් ගොඩවල් 4ක් තියෙනවා. නරඹන්නා ලග ගොඩවල් 2යි. ඔයා ලග ගොඩවල් 2යි.

දැන් ඔයා අතේ තියෙන කාඩ් ටික fan out කරන්න. කරල නරඹන්නාට කියන්න කැමති කාඩ් එකක් තෝර ගන්න කියල. මේ ගොඩෙන් අපිට වැඩක් නෑ. නරඹන්නා කාඩ් එක තෝර ගත්තයින් පස්සෙ මේ ගොඩ පැත්තකට දාන්න. දැන් නරඹන්නාට ඒ කාඩ් එක මොකක්ද කියල හොදින් මතක තියාගෙන, එයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ‍ගොඩක් මත තියන්න කියන්න. දැන් ඔයා ලග තියෙන ගොඩවල් 2න් කැමති ගොඩක් පෙන්වන්න කියල නරඹන්නාට කියන්න. එයා පෙන්වන ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් නරඹන්නා ගත්ත කාඩ් එක එම ගොඩේ මැද තමයි තියෙන්නෙ.

දැන් ඔයා කලින් ගත්ත Jack කාඩ් එක අරන් ඔයා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ උඩින් තියන්න. Jack කාඩ් එක තියන්න ඕනෙ මුහුණත උඩට සිටින්න. දැන් නරඹන්නා ලග ඉතිරි වෙලා තියෙන ගොඩ අරන් මේ Jack කාඩ් එක උඩින් තියන්න. දැන් Jack කාඩ් එක තියෙන්නෙ ඔයා ලග තියෙන ගොඩේ මැද.

දැන් මේසය මත කාඩ් ගොඩවල් 2ක් තියෙනවා. එකක් නරඹන්නා එයාගෙ කාඩ් එක තියාපු ගොඩ. අනික ඔයා Jack කාඩ් එක තියාපු ගොඩ. දැන් මේ Jack කාඩ් එක තියාපු ගොඩ අරන් නරඹන්නා කාඩ් එක තියපු ගොඩ උඩින් තියන්න. දැන් මේසය මත තියෙන්නෙ එක ගොඩයි.

මෙන්න ප්‍රයෝගය.

දැන් ඔයා මේ ගොඩ අතට ගන්න. අරන් ගොඩවල් 2කට කාඩ් දාන්න. මෙහෙම දාන අතරෙ ඔයාට පෙනෙයි Jack කාඩ් එකත් මේ දාන ගොඩවල් 2න් එකකට වැටෙනවා. මොකද අපි Jack කාඩ් එක තිවුවෙ මුහුණත උඩට සිටින විදිහටනේ. ඔයා අතේ තියෙන කාඩ් සියල්ලම මේ විදිහට දාන්න ගොඩවල් 2ට. දැන් Jack කාඩ් එක වැටිච්ච ගොඩ අතට අරන් අනෙක් ගොඩ ඉවත් කරන්න. මේ ආකාරයෙන් මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4ක් වන තෙක් කාඩ් දාන්න. කාඩ් 4ක් වන තෙක් කියන්නෙ, අපි ගොඩවල් 2කට නෙ කාඩ් දාන්නෙ. ඉතිං එක ගොඩකට කාඩ් 2ක් පමණක් එන අවස්ථාව වන තෙක් කාඩ් දාන්න. එක ගොඩකට කාඩ් 2ක් ආවා කියන්නෙ මේසය මත ගොඩවල් 2කට කාඩ් දාන නිසා මේසය මත මුලු කාඩ් ගණන කාඩ් 4යි නෙ.

ඉතිං ඉහත කී අවස්ථාවට ආවමත් ඔයාට පෙනෙයි Jack කාඩ් එක, එක ගොඩක තියෙනවා. මොකද අපි Jack කාඩ් එක තියෙන ගොඩ තෝර ගෙනනේ මේ ප්‍රයෝගය ඉදිරියට කරගෙන එන්නෙ.

දැන් ඉතිං අදහන දෙයියෙක් සිහිකරගෙන Jack කාඩ් එකත් එකක් තියෙන අනෙක් කාඩ් එක පෙන්වන්න. මේ ප්‍රයෝගය හරියට කලානම් Jack කාඩ් එකත් එක්ක තියෙන අනෙක් කාඩ් එක තමයි නරඹන්නා ගත්ත කාඩ් එක.

අදහන දෙයියෙක් සිහිකර ගන්න කිවුවෙ මේක වෙන ප්‍රයෝග වගේ නොවන නිසා. මොකද වෙන ප්‍රයෝග වලදි නම් ප්‍රයෝගය කරගෙන යන අතර මගදිම අපට දැන ගන්න පුලුවන් ක්‍රම තියෙනවා නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල සහ ඒ කාඩ් එක අපිට අවශ්‍ය විදිහට පිහිටනවද කියල. නමුත් මේ ප්‍රයෝගයේදි නම් ඒකට ඉඩක් නෑ. කාඩ් ගොඩවල් 2කට වෙන් කරද්දිත් හොදින් ඒ ගැනම අවදානය යොදවල ඒක කරන්න ඕන. මොකද වැරදිලා හරි කොහේ හරි මිස් එකක් වුනොත් ඉතිං අන්තිමට කිංඩි තමයි.

ප්‍රයෝගයෙ Jack කාඩ් එක ඔයාගෙ ගොඩ මත තියන අවස්ථවෙදි, ඒක තියන්න කලින් පොඩි වැඩක් දාන්න Jack කාඩ් එකට විශේෂ බලයක් දෙනවා වගේ. එහෙම කරල නරඹන්නාට කියන්න ඔයා මේ Jack කාඩ් එකට විශේෂ බලයක් දුන්න කියල නරඹන්නා ගත්ත කාඩ් එක හොයා ගන්න.

ඉතිං හැමදාම කියනවා වගේ ඉදිරිපත් කිරීම තමා වැදගත් වෙන්නෙ. නරඹන්නා ආකර්ෂණය කරගන්න පුලුවන් වෙන විදිහෙ, තමන්ටම ආවේනික වූ ඉදිරිපත් කිරීමේ ශෛලියක් හදාගන්න. ඒ ශෛලියට අනුව ප්‍රයෝග ඉදිරිපත් කරන්න. එවිටයි පොඩි ප්‍රයෝගයක් උනත් නරඹන්නා විශ්මයට පත්වෙන ගොඩක් ලොකු ප්‍රයෝගයක් වගේ ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්නෙ.

 යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣ 

4 comments:

Anonymous said...

ela :)

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous
thanx for ur comment.

සිහින ඉසව්ව said...

එළම තමා..
දිගටම ලියන්න

♠♦ මැජික් | Magic ♥♣ said...

@ ප්‍රබුද්ධ
ස්තුතියි යාලුවා කමෙන්ට් එකට.

Post a Comment